වැඩදත්තෝ වැදගත්තෝ

මට පෙනෙන විදිහට ගෝනියාවේ දඬුවම් හරිම තදයි - ලංකාවේ වැරැදි යයි පිළිනොගත් ක්රියා වලටත් එක්ක. පරෙස්සමෙන් ජීවත් වෙන්න ඕන රටක්! අනික් අතට, මට පෙනෙන්නේ සාමාන්ය අපිට තේරෙන වර්ගයේ අපරාධ මෙහෙ අඩුයි. මිනී මැරුම්, මංකොල්ල, පහරදීම් වගේ අපරාධ ගැන ඒ තරම් ඇහෙන්නෙ නෑ. ඒ වගේම රථවාහන අනතුරුත් අඩුයි. අනික් අතට වැරදි කර දඬුවම් ලබන ආංඩුවේ සේවකයෝ, දේශපාලකයෝ, පොලිස් නිලධාරි වගේ අය ලංකාවට වඩා වැඩියි, පත්තරේ ලියවෙන හැටියට.

අපරාධත් දඬුවමුත් අතර කිට්ටු සම්බන්ධයක් ඇති කියලා මම හිතන්නෙ නෑ, මොන රටේවත්. ලාංකිකයනුත් ගෝනියාවනුත් අතර ඇති ලොකුම වෙනසට මුල ඔවුන්ගෙ මතක ශක්තිය කියලයි මට හිතෙන්නේ. ආන්ඩු ක්රමයේ සිට ක්රීඩා තරඟ දක්වා පෙන්වන වෙනස්කම් මොලේ වෙනසෙන් සිදුවන බවට කිසිම සැකයක් නෑ. ලාංකිකයනුත් ගෝනියාවනුත් ලෝකේ දිහා බලන්නේ වෙන වෙන විධි වලට. ඒ නිසා ලංකාවේ වැදගත්යයි සැලකෙන දෙයක් හෝ ක්රියාවක් ගෝනියාවේ නොවැදගත් විය හැකියි. එවගේම ගෝනියාවේ වැදගත් දේ ලංකාවේ නොවැදගත් විය හැකියි. මේ සිද්ධාන්තය තහවුරු කරන සිද්ධියක් මම ලඟදී දුටුවා. ඒ චිත්ර ප්රදර්ශනයක් නැරඹීමට ගිය අවස්ථාවකදීයි.

මම යාළුවෝ කීපදෙනෙක් එක්ක නගරේ පිහිටි චිත්‍ර ප්‍රදර්ශන ශාලාවකට ගියේ ගෝනියාවේ ප්රසිද්ධ චිත්‍රශිල්පියෙකුගේ ප්‍රදර්ශනයක් නැරඹීමටයි. සංස්කෘතික ක්රියා මගේ සාමාන්ය ජීවිතේ කොටසක් නොවුනත් කලාතුරකින් දකින්න ලැබෙන මෙවැනි ඉඩ ප්‍රස්ථාවක් අතහරින්න මම කැමතිවුනේ නෑ. ඒ වගේම, මේ ප්රදර්ශනය මගේ ගවේෂණයේ සංස්කෘතික කොටසට මහත් රුකුලක් විය හැකි බව මට වැටහුනා.

මගේ ඉමහත් පුදුමයට ඒ ප්රදර්ශනයෙන් මා බලාපොරොත්තු නොවූ තරම් තෘප්තියක් ලැබුවා. එදා ප්රදර්ශනයවූ චිත්රවල මා මීට පෙර කිසිදාක දැක නොතිබූ අලංකාරයක් / කාන්තියක් දුටුවා. සීමිත වර්ණ සහ නොපැහැදිලි රේඛා සංයෝගයෙන් චිත්රශිල්පියා ගැඹුරු අදහස් සියුම් ලෙස ගෙනහැරපෑමට සමත්වූවා. චිත්රය පලමුවර නරඹන විට ඇස දකින ඡායාවට වඩා ගැඹුරු අර්ථයක් නරඹන දෙවෙනි තුන්වෙනි අවස්ථාවලදී පැහැදිලිව හිතට වැටෙන බව මට දැනුනේ ශාලාවට පැමින පැයකට පසුවයි. නැවතත් මුලසිට චිත්ර නැරඹීමට මා කල යෝජනාවට යාළුවෝ කිසි කෙනෙක් විරුද්ධ වුනේ නෑ. කීප වරක් මට මගේ මිත්රයන්ගෙන් චිත්ර තේරුම්ගන්න උදව් ඉල්ලනත් සිද්ධවුනා.

පැය තුනක් පමන කාලයක් ප්රදර්ශන ශාලාවේ ගෙවූ අපි ඒ ලඟ තිබූ ආපනශාලාවකට ගියේ යාළුවන්ට ස්තුතිකිරීමක් වශයෙන් ඔවුන්ට බීර වීදුරුවකින් සංග්රහ කිරීමටයි. මහ පාර අයිනේ පිහිටි ඒ ආපනශාලාවේ දිගටම තිබෙන විශාල වීදුරු ජනෙල් වලින් පාරෙන් මීටර් පන්සීයක විතර දුරක් පැහැදිලිව පෙනුනා. අපි පලවෙනි බීර උගුර ඉවර වෙනවාත් සමගම ජනේලය ලඟ මේසෙකින් “සනීරගෙ කාරෙක එනවා!” කෑගසා කියන සද්ද්යක් ඇහුනා. මුලු ආපනශාලාවේ සිටි බොහෝ දෙනෙක්, සේවකයනුත් ඇතුළුව, ජනෙල් ලඟට ගියේ පුටු පෙරලා දමමින්! මමත් ගියේ මෙයත් ගෝනියා සංස්කෘතියේ කොටසක් බව දැනුන නිසයි.

ආපනශාලාවේ අය කෑගසා අත් වැනුවත්, පාර දෙපස ඇවිදිමින් සිටි අයත් එසේ කළත්, සමහර කාර් පාරේ අයිනටවිත් එක වාහනේකට ඉඩදෙන්න සැලැස්සුවත් ඒ ‘ප්රභූ’ වාහනේ කිසි වෙනසක් මම දැක්කෙ නෑ. වාහනේ එලවාගෙන ආ වයසක නෝනා කීප සැරයක් අත වැනුවත් එයා හඳුනා ගන්න තරම් පැහැදිලිව දැකගන්න මට බැරිවුනා.

“කවුද නිළියක්ද?”

අපි ආපහු මේසෙට ආවට පසුව මම මෙහෙම ඇහුවේ ඇත්තටම ඒ කවුද කියලා දැනගැනීමේ ආසාවෙන්.

“නිළියක්?”

“මං හිතුවේ එහෙම කවුරුහරි වෙන්න ඇති කියලා - මෙතන තිබුන කලබලේ හැටියට! කොහොම හරි වැදගත් කෙනෙක් …. ඇමතියෙක්?”

යාළුවන්ට මගේ ප්රශ්නය නොතේරුනා වගේ.

“ඇමතියන්ගෙ කාර් වලට අපි අත වනන්න?”

යාළුවෝ සේරම හයියෙන් හිනාවුනා. අල්ලපු මේසේ මිනිස්සුන්ටත් මගෙ ප්රශ්නේ ඇහිලද කොහෙද ඒ අයත් හිනා වෙනවා.

“කවුද ඒ කරෙකේ ගියේ?”

මම ඇහුවේ හෙමින් - අල්ලපු මේසේ අයට නොඇසෙන්න.

“ඒ සනීරා නෝනා - මෙහෙ ඉන්න දක්ශම ඉන්ජිනේරුවෙක්!”

“ඇයි ඉන්ජිනේරුවෙකුට ඔය තරම් හරසර?”

ඒ ප්රශ්නෙට උත්තර දුන්නේ මගෙ හොඳම යාළුවා - රාහිත්.

“ඔය සනීරා නෝනා තමංගේ උත්සාහයෙන් ඉන්ජිනේරු තාක්ශනය ඉගෙනගෙන, ඒ ක්ෂේත්‍රයේ ඉහලටම නැගලා දැන් ඒ දැනුම රටටම බෙදා දෙනවා… ඒ නෝනා වගේ අය නිසාමයි රටේ ඉන්ජිනේරු ක්ෂේත්‍රය මේ තරම් දියුනු වෙලා තියෙන්නේ… ඒක අනික් අයගෙ ඡන්දෙන් තනතුරක් ලබනවට වඩා වටිනවා කියලා අපි සලකන්නේ”

“එහෙම අයගෙ සේවයේ වටිනාකම හිතාගන්න මට පුළුවන්… අනික් ඉන්ජිනේරුවෝ ඒ අයට ගෞරව කරන එකත් තේරෙනවා… නමුත් පාර දෙපැත්තේ ඉන්නේ ඔය නෝනගෙ වැඩ හොඳින් තේරෙන ඉන්ජිනේරුවෝ නෙවෙයි! ඇයි එහෙම අය, මේ හෝටලේ වේටර්ලා වගේ අය, නෝනට ච්ත්රපට නිළියකට වගේ උපහාර දක්වන්නේ?”

“හ්ම්… උපාලී දෙවැනි සැරේට නිළියක් මතක්කළේ. .. ඒ ඇයි?”

“අපෝ… ලංකාවේ එහෙම නළු නිළියන්ට, දක්ශ ක්රීඩකයන්ට එහෙම ලොකු තැනක් තියෙනවා…. සාමාන්ය මිනිස්සුන්ට එහෙම අය හරිම ලොකුයි!”

“…අ… ඇයි?”

මේ පුංචි ප්රශ්නෙට උත්තර දෙන එක ලේසි නෑ මට. මමත් මේ ගැන කාලයක් හිතලා බලලා තියෙනවා නමුත් කිසිම තීරණේකට ඇවිත් නෑ.

“හරියටම කියන්න අමාරුයි විකී… මං හිතන්නේ නිතරම ටීවී එකේ එහෙම දැකලා ඒ අයගෙ රූපලාවණ්‍යයට හරි දක්ශතාවෙට හරි වශ්රී වෙලා වගේ… තමාටම කරන්න බැරි දේ අනුන්ගෙ මාර්ගයෙන් විදින්න… සමහරු එහෙම අය පවුලේ කෙනෙක් වගේ හිතන්නේ! ඔයගොල්ලො මේවා මහා මෝඩකම් කියලා හිතෙනවා ඇති… ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් ඒකෙන් මහජනතාව රසයක් විඳිනවානම් අපි කොහොමද ඒකේ වැරැද්දක් කියන්නේ?”

යාළුවෝ ටිකක් සද්ද නැතුව හිටියා - මම කියපුදේ තේරුම් ගන්න තැත් කරනවා වගේ. පලවෙනියට කතාකළේ රාහිත්.

“ඔය නළු නිළියෝ, ක්රීඩකයෝ කරන්නේ පඩි ලැබෙන රස්සා නේද? එතකොට ඒ අයගෙයි බස් කොන්දොස්තර කෙනෙකුයි අතර වෙනස මොකද්ද?”

“පඩි ලැබෙන බව ඇත්ත… නමුත් ඒ අයගෙ ‘රස්සා’ වලින් විශාල මහජන සංක්යාවක් සතුටු වෙනවා. ඒකත් වටිනවා නේද?”

“මහජනයා සතුටුකරන එක නේද ඇත්තම රස්සාව? එහෙම සතුටු කරන්න බැරි කෙනෙක් ඒ රස්සාවේ වැඩිකලක් ඉන්නෙ නෑ නේද?... ඒ කියන්නේ මහජනයා සතුටු කරන රස්සාවට ඒ අය පඩි ගන්නවා - මං දන්න විදිහට බස් කොන්දොස්තර කෙනෙකුට වැඩිය! …. එතකොට මිනිස්සු උපහාර දක්වන්නේ සමහර රස්සා වලට විතරයිද?”

මේ කතාව යන පැත්තෙන් මට දැනෙනවා උත්තර දෙන්න අමාරු ප්රශ්න වැඩිය ඈත නෙවෙයි කියලා. ඒ නිසා මමත් ප්ර්ශ්නෙකින් කතාවට එකතුවුනා.

“ඉතින් ඉන්ජිනේරුවොත් පඩි ගන්නවානේ, ඒ අයගෙ රස්සාව කරලා!”

“ඇත්ත. හැම වැඩකරන ඉන්ජිනේරුවෙක්ම පඩි ගන්නවා. ඒ ඉන්ජිනේරුවෙකුගෙයි සනීරා නෝනගෙයි වෙනස මේකයි. සනීරා නෝනා තමාගේ ඉගෙනීම, නිපුනත්වය අනික් ඉන්ජිනේරුවෝ වගේ පඩියට විකුනනවා ඇරුනුකොට කාලෙන් වැඩි කොටසක් ගෙවන්නේ ඒ දක්ශකම් අනික් අයට පරිත්යාග කරන්න… එතුමීගෙන් ඉගෙනගත් ඉන්ජිනේරුවෝ දහසකට වැඩි ගනනක් රට පුරා, රට වෙනුවෙන් වැඩ කරනවා. ඒකයි වෙනස!”

“ඔය රාහිත් කියන්නේ ගුරුවරු ගැනද?”

“තමාගේ දැනුම බෙදාදෙන්න ඊට වඩා හොඳ කාන්ඩයක් ඉන්නවද?”

“හඃ - ගුරුවරුත් වැඩකරන්නේ පඩියට නේද? හා….!”

“උපාලී හිතලම මේක තේරුම් නොගන්න තීරණේ කරලා වගේ…. හිතන්න ඉන්ජිනේරුවෙක් වැවක් හදලා ගමකට වතුර දෙනවා කියලා. ඒක මුලු ගමටම වෙන සේවයක්. වැව නිසා ඒ ගමේ ගොවි නිපයුම වැඩිවීම රටටම සේවයක්. පිළිගන්නවා නේද? ඒ ඉන්ජිනේරුවාම තව ඉන්ජිනේරුවෝ සීයක් පුහුනුකළොත්… එයින් දහ දෙනෙක්වත් වැව් හැදුවොත්… වටිනාකමේ වැඩිවීම හිතාගන්න පුළුවන් නේද?”

“ඕනෑවට වැඩිය ඉන්ජිනේරුවෝ මොකටද?”

“ඒ ප්රශ්නෙත් හරියට ‘අද උපන් දරුවෙකුගෙ වටිනාකම මොකද්ද?’ වගේ එකක්. අද දවසේ අවශ්යතාවයන් නෙවෙයි හෙට තියෙන්නේ… බබා ලොකුවෙලා මොනවා කරයිද කියලා අපිට අද කියන්න බෑ!”

“ඉන්ජිනේරුවෝ ඔක්කොම ගුරුවරු වුනොත් කවුද වැව් හදන්නේ?”

සේරටම හිනා ගියා එකට. රාහිත් විතරක් ඒකට උත්තරයක් දෙන්න ඉදිරිපත්වුනා.

“හැම ඉන්ජිනේරුවම හොඳ ගුරුවරයෙක් නෙවෙයි. හැම හොඳ ඉන්ජිනේරුවම හොඳ ගුරුවරයෙක් නෙවෙයි. අපි මෙතන කතා කරන්නේ ඉතා හොඳ ඉන්ජිනේරුවෙක් ඉතා හොඳ ගුරුවරයෙක් නම් ඒකේ වටිනා කමයි. සනීරා නෝනා ඒ වගේ කෙනෙක්!”

“ෂඃ… නියමයි රාහිත්. තැන්ක්යූ. සතියකට අවශ්ය කරුණු අද එකතුවුනා… මේ විදිහට ගුරුවරු දිහා ලංකාවේ අය බලන්නෙ නෑ… හොඳම ගුරුවරු දිහාවත්…. එහෙයි මෙහෙයි වෙනස මොකක් කියලද හිතන්නේ?”

“උපාලී… මං හිතන්නේ අපෙ ජීවිත දර්ශන වෙනස්. ‘වැදගත්’ කියන වචනෙන් අපි හඳුනන්නේ වෙනස් දේ… මම තව එක උදාහරනයක් ගන්නම් … උපාලී මොකද හිතුවේ අද ගිය චිත්ර ප්රදර්ශනය ගැන?”

“නියමයි! මාරයි! මං කවදාවත් දැකලා නෑ මේ තරම් ගැඹුරු අදහස් පෙන්නුම් කරන චිත්ර… අනික, ඒවා හරිම සරල විදිහට රසවිඳින්න පුළුවන් වගේම හාරලා සොයලා තව ගැඹුරටත් රසවිඳින්න පුළුවන්! රාහිත්ලා හිටියෙ නැත්නම් අද මම දකින්නේ මතුපිට ලස්සන විතරයි - තැන්ක්යූ අගේන්!”

“ඒවා ඇඳපු චිත්රශිල්පියා ගැන මොකද කියන්නේ? එයත් ජනතාවගෙන් උපහාර ලබන්න වටිනවද?”

“අනිවාර්යෙන්! එහෙම කෙනෙක් දකින්න, කතා කරන්න, ලැබුනොත් ඒක මගේ පෙර පිනක් කියලා මට හිතෙන්නේ”

“ඇයි එහෙනං මිනිහට කතා නොකරේ?”

“කොහෙදිද? ඇවිත් හිටියද ප්රදර්ශනේට?”

“ඇයි අර දොරලඟ වාඩිවෙලා හිටපු තට්ටයා කවුරු කියලද හිතුවේ?”

“මොනවා! අනෙ අප්පේ…. මං හිතුවේ එතන වැඩකරන කෙනෙක් කියලා - අපරාදේ! මං කතාකරානම් මිනිහා මට කතා කරයිද? ඇයි මිනිහා වටේ සෙනගක් නොහිටියේ?”

යාළුවෝ හිනාවෙනවා. රාහිත් විතරයි කතාකළේ.

“ආන්න උපාලිට තේරෙනවා… එයා කලාවට දක්ශයි, නිපයුම ඉතා හොඳයි… නමුත් එයාගෙ මරනෙන් පස්සේ ඒ නිර්මාණශ්‍රීලතාවය අපිට නැතිවෙනවා. එයා හොඳ ගුරුවරයෙක් නෙවෙයි!”

මට තේරෙනවා රාහිත්ගෙ කතාව… තමාගේ දක්ශකම් අනික් අයට ලබාදෙන්න හැකි අය අනික් අයට වඩා ඉහලින් ඉන්නේ ‘වැදගත් ඉනිමගේ’.

“ගුරුවරයෝ - ඒ කියන්නේ ඉස්කෝල, තාක්ෂණ විද්යාල, විශ්වවිද්යාල වල උගන්වන අය විතරද වැදගත්?”

“නෑ නෑ… දක්ශ ගොවියෝ, ලී කැටයම් කපන්නෝ, පිත්තල බඩු සදන්නෝ, දොස්තරලා - මේ වගේ ඕනෑම වෘත්තියක විශේෂඥයෝ ජනසම්මාන, උපහාර ලබාගන්න පුළුවන්, තම තමාගේ නිපුනතාවයන් වැඩිදියුනු කරලා ඒවා අපිට නැතිවීයන්න නොදී පතළ කර හරිනවානම්”

“හ්ම්… ඒ කියන්නේ… අපෙ මංත්රීලට එහෙම උපහාර ලබාගන්න අමාරුයි නේද?”

“දැන් ඔන්න උපාලිට තේරෙනවා අපෙ ක්රමයේ වටිනාකම! තව බීර එකක් බොන්න වටින පාඩමක්!”